30 June 2026
උතුරු - නැගෙනහිර ධීවර වරායන් සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීමට ලෝක බැංකු සහාය: ‘REVIVE 1’ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සැප්තැම්බරයේ ඇරඹේ

උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ‘REVIVE’ (Regional Empowerment through Vibrant, Inclusive and Viable Economies) ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි දෙවන අදියරේ සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ලෝක බැංකුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ.

මෙහිදී ‘REVIVE 1’ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් රිකුණාමලය – කොඩ්බේ (Cod Bay) ධීවර වරාය සහ යාපනය – ගුරුනගර් (Gurunagar) ධීවර ගම්මානය ආශ්‍රිත යටිතල පහසුකම් නවීකරණය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. මෙම ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයන කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, එය මාස හතරක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියේ ප්‍රධාන යෝජනා සහ ඉලක්ක:

* කොඩ්බේ (Cod Bay) වරාය: වරාය ජැටිය සහ ස්ලිප්වේ (Slipway) ප්‍රතිසංස්කරණය, නවීන ශීතකරණ පද්ධති ස්ථාපිත කිරීම සහ අපනයනය ඉලක්ක කරගත් මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සඳහා අක්කර 27ක භූමියක් සංවර්ධනය කිරීම.
* ගුරුනගර් (Gurunagar) ධීවර ගම්මානය: ධීවරයින් 3,500කගේ ජීවනෝපාය නංවාලීම සඳහා නවීන මත්ස්‍ය වෙන්දේසි ශාලා, සෞඛ්‍යාරක්ෂිත කරවල වේලන අංගන සහ මංතීරු දෙකකින් යුතු පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම.

සාකච්ඡාවේදී අවධානය යොමු වූ වැදගත්ම කරුණක් වූයේ ව්‍යාපෘතියේ දෙවන අදියර හෙවත් ‘REVIVE 2’ සඳහා වන ව්‍යාපෘති යෝජනා සම්පාදනය කිරීමයි. ඒ යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් මුහුදු පැලෑටි (Seaweed), මුහුදු කූඩැල්ලන් (Sea Cucumber), කකුළුවන් (Mud Crab), සීබාස් (Sea Bass) සහ ඉස්සන් (Shrimp) වගාවන් සඳහා වන අගය එකතු කිරීමේ දාමයන් ශක්තිමත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය කලාපකරණ සැලසුම් (Aquaculture Zoning) සකස් කිරීමටත් තීරණය විය.

විශේෂයෙන්ම මුහුදු පැලෑටි වගාව සඳහා වන වෙළෙඳපොළ විභවතාවන් හඳුනාගැනීම සහ දකුණු කොරියාව වැනි රටවල් සමඟ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා මෙහිදී අවධාරණය කළේ, සාම්ප්‍රදායික මට්ටමේ පවතින මෙරට ධීවර ක්ෂේත්‍රය කාර්මීකරණය වූ සහ දත්ත මත පදනම් වූ (Data-driven) දියුණු ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.

මෙම අවස්ථාවට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි, නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share

Latest News

ධීවර කර්මාන්තය නවීකරණය කරමින් තරුණ පරපුර සවිබල ගැන්වීමට ධීවර දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ DVV International ආයතනය අතර විශේෂ ගිවිසුමක්
උතුරු - නැගෙනහිර ධීවර වරායන් සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීමට ලෝක බැංකු සහාය: ‘REVIVE 1’ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සැප්තැම්බරයේ ඇරඹේ
ධීවර ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
බහුදින ධීවරයින් සඳහා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන සේවාව තවදුරටත් නිවැරදි හා කාර්යක්ෂම කිරීමට පියවර!
අතුරුදන් වූ ‘IDAY-A- 0122KMN’ ධීවර යාත්‍රාව සෙවීමට දකුණු මුහුදේ වෙළඳ නෞකාවල සහායත් ලබා ගැනේ: නාවික, ගුවන් සහ ධීවර දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව
"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් යාපනය, මුලතිව් සහ මන්නාරම ධීවරයින්ට බෝට්ටු සහ දැල් පරිත්‍යාග කෙරේ.
1 2 3 17

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *