07 October 2026
ධීවර ජනතාවගේ ගැටලුවලට එකම තැනකින් විසඳුම්!.
ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන දෛනික ගැටලු හඳුනාගෙන, අදාළ රාජ්‍ය ආයතන සමඟ සෘජුව සම්බන්ධ වී කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන විශේෂ ජංගම සේවයේ සංවිධාන කටයුතු පිළිබඳ දෙවන සාකච්ඡාව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම මහජන සේවා වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන 50 කට ආසන්න සංඛ්‍යාවක් ඒකාබද්ධ වීමට නියමිත අතර, ධීවර කටයුතු, ජීවනෝපාය සංවර්ධනය, සමාජ සුබසාධනය ඇතුළු සියලු අවශ්‍යතා එකම වහලක් යටදී ඉටුකර ගැනීමට ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවට මෙයින් මඟ සැලසෙනු ඇත.
මෙම සාකච්ඡාව සඳහා ගාල්ල දිස්ත්‍රීක්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා, හික්කඩුව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් හා නියෝජිතයින් පිරිසක් සහභාගී විය.









