02 October 2026
දියඹේ ගැටලුවලට ගොඩබිමින් තොටුපළක්...විසඳුම් යාත්‍රාව දියත් කරන්නට පෙර!.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ගාල්ල දිස්ත්‍රික් විශේෂ ‘ජංගම සේවය’ සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාවක් අද (01) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මහ මුහුදේ රළු රළ සමග ඔට්ටු වෙමින්, රටට සැලකිය යුතු විනිමයක් උපයා දෙන දිරිය ධීවරයින්ට මතුවන පරිපාලන සහ සේවා ගැටලුවලට විසඳුම් එකම තොටුපළකට ගෙන ඒම මෙම දැවැන්ත ජංගම සේවයේ අරමුණයි.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 50කට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් එළඹෙන ඔක්තෝබර් මස දෙවන සතියේදී පැවැත්වීමට නියමිත මෙම ජංගම සේවය හරහා බෝට්ටු ලියාපදිංචි කිරීම්, සන්නිවේදන උපකරණ පරීක්ෂාව, බැංකු ණය සහ රක්ෂණ පහසුකම් ඇතුළු ධීවර ජනතාවට සහ ප්‍රදේශවාසීන්ට අවශ්‍ය සේවාවන් කඩිනමින් හා විධිමත්ව ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ගාලු දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවගේ වටිනා කාලය සහ ශ්‍රමය ඉතිරි කරමින්, ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගමටම රැගෙන එන මෙම දැවැන්ත ජංගම සේවය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අපගේ නිල ෆේස්බුක් පිටුව හරහා බලාපොරොත්තු වන්න.
මෙය එක් තොටුපළක් පමණි!
ගාල්ලෙන් ඇරඹෙන මෙම සහන මෙහෙයුම හුදු ආරම්භයක් පමණක් වන අතර, ඉදිරියේදී දිවයින පුරා විහිදී ඇති සෙසු ධීවර දිස්ත්‍රික්ක ඉලක්ක කරමින් මෙම ජංගම සේවය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
මෙම මූලික සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, සී-නෝර් (Cey-Nor) ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි යන මහත්වරුන්, අමාත්‍යාංශයට අනුබද්ධ අනෙකුත් ආයතනවල නියෝජිතයින් මෙන්ම, මෙම ජංගම සේවය සඳහා සේවා සැපයීමට නියමිත සෙසු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් ද එක්ව සිටියහ.









