Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
28 September 2026
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ රුසියානු තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිය ධීවර සහයෝගිතාව, සමුද්‍රීය වෙළඳාම සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර අද (2026.09.28) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සුහද හමුවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, ධීවර ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා රුසියානු වෙළඳපොළ අවස්ථා වැඩිදියුණු කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ මත්ස්‍ය නිෂ්පාදන වන ටූනා (Tuna), ඉස්සන් සහ කකුළුවන් ඇතුළු නිෂ්පාදන රුසියානු වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. එමගින් දෙරට අතර සමුද්‍රීය වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවස්ථා පිළිබඳවද අවධානය යොමු විය.

එමෙන්ම, රුසියානු වෙළඳපොළට මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාපටිපාටීන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. දෙරට අතර සමුද්‍රීය වෙළඳාම පුළුල් කිරීමේදී මතුවන ප්‍රායෝගික අභියෝග හඳුනාගෙන ඊට සුදුසු විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සඳහා රුසියාවේ නවීන තාක්ෂණය, ධීවර යාත්‍රා සහ විශේෂිත උපකරණ භාවිත කිරීමේ හැකියාව පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. විශේෂයෙන්ම, පසු අසවනු හානිය අවම කරගනිමින් ධීවර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සුරැකීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කමද එතුමා පෙන්වා දුන්නේය.

තවද, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් නවීකරණය කිරීම, ශීතාගාර පහසුකම් ඉහළ නැංවීම සහ මත්ස්‍ය නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කිරීම වැනි ක්ෂේත්‍රවලදී රුසියානු ආයෝජන සහ තාක්ෂණික සහයෝගීතාව ලබාගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා විය.

මීට අමතරව, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් මහතාගේ අවධානය යොමු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා රුසියානු වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම, ධීවර ක්ෂේත්‍රයේ තාක්ෂණික හා ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සහ ධීවර යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ පවතින මත්ස්‍ය සම්පත විද්‍යාත්මකව ඇගයීමට ලක්කිරීම, තිරසාර ධීවර ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සහ සාගර සම්පත් ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍රවලදී දෙරටේ පර්යේෂණ ආයතන අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කමද පෙන්වා දෙන ලදී.

තවද, ශ්‍රී ලාංකික ධීවරයන් සහ ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා තාක්ෂණික පුහුණුවීම්, දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන් සහ කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුසියානු සහය ලබාගැනීමේ හැකියාව පිළිබඳවද විමසා බලන ලදී.

එමෙන්ම, 1948 වසරේ සිට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ජාත්‍යන්තර තලයේදී මෙන්ම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවලදී රුසියාව ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.

මෙම හමුව ධීවර ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන අතරම, දෙරට අතර වෙළඳ, ආයෝජන, සංචාරක සහ ආර්ථික සබඳතා පුළුල් කිරීමට නව අවස්ථා උදාකර දෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නැංවීම සඳහා රුසියානු රජය දක්වන උනන්දුව අගය කළ අමාත්‍යවරයා, ඉදිරියේදී දෙරට අතර ධීවර හා ආර්ථික සහයෝගීතාව ප්‍රායෝගිකව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

මෙම හමුව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය  බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද සහභාගී විය. 

Latest News