Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
26 September 2026
නීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා දිස්ත්‍රික් කමිටු පිහිටුවීමට පියවර...

නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (25) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුන ජයසේකර මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මීගමුව, හලාවත, පුත්තලම, මන්නාරම ඇතුළු ධීවර දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටු 15ක් ස්ථාපිත කිරීමට මෙහිදී එකඟ වූ අතර මෙම කමිටුවල සම සභාපතිවරුන් ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරනු ලබයි.

දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන මෙම කමිටුව දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (ධීවර), ධීවර අමාත්‍යතුමා විසින් පත් කරන ලද ධීවර සම්බන්ධීකරණ නිලධාරී, ධීවර සමිතිවල අදාළ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යන ආයතන නියෝජනය වන පරිදි සමන්විත වනු ඇත.අවශ්‍යතාවය පරිදි ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) හෝ වෙනත් අදාළ ආයතනවල නිලධාරීන්ද මෙම කමිටුවලට සම්බන්ධ කර ගැනීමට මෙහිදී එකඟතාව පළ විය.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන මත්ස්‍ය මංකොල්ලකෑම් වලක්වා ගන්නේ කෙසේද, ධීවර වෘත්තියේ නියැලෙන්නන්ට සිදු වන අනතුරු වලක්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳවද අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන් මහතා, ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, අබූබකර් ආදම්බාවා මහතා, කරුනානාදන් ඉලංකුමරන් මහතා,තිලකනාදන් මහතා සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍ය ජී.කේ.කෝලිත කමල් ජිනදාස මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ ශ්‍රී ලංකා පොලීසිය,නාවික හමුදාව,වෙරළාරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Latest News