16 September 2026
ශ්‍රී ලංකා ධීවර සමිති නියෝජිතයින් සඳහා ඉන්දියාවේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන ආරම්භ වෙයි
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා-ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ හා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ ධීවර සමිති නියෝජිතයින් සඳහා වන දින 10 ක විශේෂ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන 2026.09.15( ඊයේ) සිට ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පූනේ හි පිහිටි Vaikunth Mehta National Institute of Cooperative Management (VAMNICOM) ආයතනයේදී ආරම්භ විය.
වැඩසටහනේ සමාරම්භක අවස්ථාව VAMNICOM ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය සුවකාන්තා මොහාන්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පුහුණු වැඩසටහන් සම්බන්ධීකාරක ආචාර්ය රවී ධර්මරාජන් මහතා ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සනිටුහන් විය.
මෙම පුහුණු වැඩසටහන හරහා ඉන්දීය සමූපකාර ව්‍යාපාරය හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, ලෝක ප්‍රසිද්ධ “Amul Cooperative Movement” වැනි ආයතනවල සාර්ථක ක්‍රියාකාරී ආකෘති පිළිබඳවත් පුහුණුලාභීන්ට පුළුල් අවබෝධයක් ලබාදීමට නියමිතය.
මෙම පුහුණු වැඩසටහන සඳහා මාතර, කළුතර හා ගාල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කරදිය ධීවර ප්රජාවත්, පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මිරිදිය ග්‍රාමීය ධීවර සංවිධාන නියෝජිතයන් පිරිසක් ද මෙයට එක්ව සිටිති.ඊට අමතරව ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා ප්‍රසම්පාදන) නඩරාජා සිවලිංගම්, ජාතික ධීවර සම්මේලනයේ ප්‍රධාන ලේකම් එල්.ජී. අජන්ත කුමාර, ධීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 03 දෙනෙකු සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී ඉනෝකා පෙරේරා මහත්මිය ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී විය









