09 September 2026
ඔලුවිල් වරාය නැවත සක්‍රීය කිරීමට ඒකාබද්ධ පියවර - ධීවර ජනතාවගේ ජීවනෝපාය සහ සාගර සම්පත් සුරැකීමට රජයෙන් පියවර – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ
ශ්‍රී ලංකාවේ වෙරළබඩ තීරයේ ජීවත්වන ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කරන අතරම, සාගර හා ජලජ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
වරායවල වර්තමාන තත්ත්වය, නව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘති සහ සුරුක්කු දැල් භාවිතයට අදාළ බලපත්‍ර රෙගුලාසි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ (08) පාර්ලිමේන්තුව හමුවේ මේ බව පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ඔලුවිල් ධීවර හා වාණිජ වරාය දීර්ඝ කාලයක් තිස්සේ වැලි තැන්පත් වීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත්, එමගින් ප්‍රදේශයේ ධීවර පවුල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
වරාය ඉදිකළ සමයේ රළ පහර, සුළඟේ වේගය, සමුද්‍ර දියවැල්වල ස්වභාවය සහ වැලි ගමන් කිරීම ඇතුළු සාධක පිළිබඳව ප්‍රමාණවත් විද්‍යාත්මක හා විධිමත් සක්‍යතා අධ්‍යයනයන් සිදු නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ වරාය ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සිදු කළද, නිසි විද්‍යාත්මක දත්ත මත පදනම්ව සැලසුම් නොකිරීම නිසා වරාය පිවිසුමේ විශාල ලෙස වැලි තැන්පත් වී ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ ආකෘති අධ්‍යයනයන්, විද්‍යාත්මක දත්ත සහ ධීවර ප්‍රජාවගේ පාරම්පරික දැනුම නිසි ලෙස සංයෝජනය කර සැලසුම් නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස, වර්තමානයේ වාණිජ නැව් සහ ධීවර යාත්‍රා වරායට ඇතුළු වීමේදී හා පිටවීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඔලුවිල් වරාය සංවර්ධනය සඳහා විදේශීය ආයතන කිහිපයක් ඉදිරිපත්ව සිටියද, ඔවුන්ගේ වැඩි උනන්දුව යොමුව ඇත්තේ වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති වැලි ලබා ගැනීමට බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයනයන්ට අනුව එම වැලිවල වටිනා ඛනිජ ද්‍රව්‍ය පවතින බැවින්, ඒවා විදේශයන්ට ලබා දීමේදී නීතිමය ගැටලු මතුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
තාවකාලික විසඳුම් වෙනුවට ඔලුවිල් වරාය ගැටලුවට දීර්ඝකාලීන විද්‍යාත්මක විසඳුමක් ලබා දීමට රජය පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා ජනාධිපති කාර්යාලය, පරිසර අමාත්‍යාංශය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇති බවද සඳහන් කළේය.
මෙම කමිටුව හරහා සිදුකරන අධ්‍යයනයන් ඇසුරින්, ජාතික මත්ස්‍ය නිෂ්පාදනය, ප්‍රාදේශීය ධීවර ජීවනෝපාය සහ රටේ ආර්ථිකයට ප්රතිලාභ ලැබෙන පරිදි ඔලුවිල් වරාය නැවත සක්‍රීය කිරීමේ සක්‍යතාව පරීක්ෂා කෙරෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහිදී ධීවර වරාය කොටස පමණක් වෙන්කර ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව කෙරෙහිද අවධානය යොමුව තිබේ.
මේ අතර, දිවයිනේ ධීවර වරායන් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ වාලච්චේන ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස දියකඩනය ඉදිකිරීමේ කටයුතු ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, මාතර ගන්දර ධීවර වරාය අතිනවීන පහසුකම් සහ මීටර් 650ක දියකඩනයක් සහිතව විශාල ධීවර වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, එහි මුල්ගල තැබීම සැප්තැම්බර් 25 වැනිදා සිදුකෙරෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, කලමැටිය සහ අම්බලන්ගොඩ ධීවර වරායවල රොන්මඩ ඉවත් කිරීම සහ යටිතල පහසුකම් පිළිසකර කිරීම ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ සුරුක්කු දැල් (Purse Seine Nets) භාවිතය සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නවලටද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේය.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් ලබා දුන් නිර්දේශවලට අනුව සුරුක්කු දැල් භාවිතය සඳහා සීමාවන් පනවා ඇති බව ඔහු පැවසීය. මසුන්ගේ බෝවීම ආරක්ෂා කිරීම සහ කුඩා මසුන් විනාශ වීම වැළැක්වීමේ අරමුණින් මෙම රෙගුලාසි හඳුනා දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, සුරුක්කු දැලක ඇස්වල ප්‍රමාණය අවම වශයෙන් අඟල් 1.5 ක් විය යුතු අතර, දැලේ මුළු දිග මීටර් 225 කට වඩා වැඩි නොවිය යුතු බවද ඔහු පැවසීය. තවද, මීටර් 25 කට අඩු මුහුදු ගැඹුරක් සහිත ප්‍රදේශවල පමණක් මෙම දැල භාවිත කළ හැකි අතර, උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා දහවල් කාලයේ පමණක් සුරුක්කු දැල් භාවිතයෙන් ධීවර කටයුතු කිරීමට අවසර ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුරුක්කු දැල් බලපත්‍ර 174 ක් සහ උතුරු පළාතේ බලපත්‍ර 68 ක් නිකුත් කර ඇති බවද ඔහු පැවසීය. මෙම බලපත්‍ර වසරක කාලයකට පමණක් වලංගු වන අතර, ඒවා අඛණ්ඩව අලුත් කිරීමට පෙර සුදුසු ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කරනු ලබයි.
තවද, සුරුක්කු දැල් බලපත්‍රයක් පියාගෙන් පුතාට හෝ පෞද්ගලිකව වෙනත් අයෙකුට ඍජුවම පැවරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. බලපත්‍ර සම්බන්ධයෙන් වන නව ඉල්ලීම් දැනට පවතින නීතිමය රෙගුලාසි, නිසි ක්ෂේත්‍ර පරීක්ෂණ සහ අදාළ නිලධාරීන්ගේ නිරීක්ෂණයන්ට යටත්ව තීරණය වන බවද ඔහු පැවසීය.
ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරැකීමත්, අනාගත පරපුර උදෙසා සාගර සම්පත් තිරසාර ලෙස පවත්වාගෙන යාමත් ඒකාබද්ධ කරමින්, වරාය සංවර්ධනය සහ ධීවර කටයුතු විධිමත් කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.





