Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
09 September 2026
COFI 37 හිදී ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රතිපත්තිය සහ කලාපීය සහයෝගීතාව පිළිබඳ ප්‍රධාන යෝජනා රැසක් ඉදිරියට. ඩිජිටල් පරිවර්තනය, දත්ත කළමනාකරණය සහ සුළු පරිමාණ ධීවර කර්මාන්තයට ප්‍රමුඛතාව දිය යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානයේ පැවැත්වෙන ධීවර කමිටුවේ 37 වැන ධීවර කාරක සභා සැසිය (COFI 37) ඇමතූ ශ්‍රී ලංකාව; සිය ජාතික ධීවර ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම, සුළු පරිමාණ ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම සහ කලාපීය ධීවර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ප්‍රධාන යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

ඉතාලියේ රෝම නුවර සැප්තැම්බර් 7 සිට 11 දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුවේදී, ලෝක ධීවර හා ජලජීවී වගාවේ තත්ත්වය පිළිබඳ SOFIA 2026 වාර්තාව, නීති විරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් (IUU) ධීවර කර්මාන්තය පාලනය කිරීම, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ අවම කිරීමේ පියවර, මෙන්ම සුළු පරිමාණ ධීවර හා ජලජීවී වගාව සඳහා සහය දැක්වීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් සාකච්ඡාවට භාජනය වේ.

මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, මෙතෙක් ගෙන ඇති පියවර සහ අනාගත සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රධාන අදහස් ඉදිරිපත් කළේය.

එමෙන්ම, බෙංගාල බොක්ක කලාපීය රාජ්‍යයන්ගේ සංවිධානය වන BOBP-IGO හි නායකත්වය වෙනුවෙන් ද ශ්‍රී ලංකාව පෙනී සිටි අතර; ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු සාමාජික රටවල් අතර කලාපීය ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කෙරිණි.

ඩිජිටල් තාක්ෂණය සහ දත්ත කළමනාකරණය

සංවර්ධනය වෙමින් පවතින රටවල ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය නූතනකරණය කිරීමේදී ඩිජිටල් පරිවර්තනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ලේකම්  ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා පෙන්වා දුන්නේය. ධීවර දත්ත විද්‍යාත්මකව රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඒ මත පදනම්ව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා නූතන ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

FAO සංවිධානය මගින් සංවර්ධනය කර ඇති FishStat දත්ත ගබඩාවේ වැදගත්කම ඇගයීමට ලක් කළ ශ්‍රී ලංකාව, ධීවර සම්පත් තත්ත්වය විද්‍යාත්මකව ඇගයීම සඳහා වන Stock Assessment (මත්ස්‍ය තොග ඇගයීම්) හැකියාවන් සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

ධීවර ක්ෂේත්‍රයෙන් රැස් කරනු ලබන දත්ත හුදෙක් සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා නොවී, ජාතික හා කලාපීය මට්ටමින් ඵලදායී ප්‍රතිපත්ති සහ තීරණ බවට පරිවර්තනය විය යුතු බව ද ලේකම්වරයා පැවසීය. මේ සඳහා BOBP-IGO හරහා සාමාජික රටවල් අතර දැනුම හුවමාරු කරගැනීම, තාක්ෂණික සහයෝගීතාව සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

සුළු පරිමාණ ධීවර කර්මාන්තයේ ආරක්ෂාව

ශ්‍රී ලංකාවට අදාළව, සුළු පරිමාණ ධීවර කර්මාන්තය රටේ ආහාර සුරක්ෂිතතාව, ධීවරයන්ගේ ජීවනෝපාය, අපනයන ආදායම සහ නිල් ආර්ථිකයේ වර්ධනය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන බව ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා සඳහන් කළේය.

සුළු පරිමාණ ධීවර කර්මාන්තය අර්ථ දක්වන විට, යාත්‍රාවේ දිග හෝ එන්ජිමේ අශ්ව බලය වැනි තාක්ෂණික මිනුම්දඬු පමණක් සලකා නොබලා, ඊට අදාළ සාමාජීය, ආර්ථික සහ ආයතනික මානයන් ද සලකා බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ධීවරයන්ගේ යථාර්ථවාදී ජීවනෝපාය තත්ත්වයන් පදනම් කරගනිමින් ජාත්‍යන්තර ප්‍රතිපත්ති සකස් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

තවද, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ‘ඩොක්ටර් ෆ්‍රිඩ්ජොෆ් නැන්සන්’ (Dr. Fridtjof Nansen) ධීවර සම්පත් ඇගයීමේ වැඩසටහන මෙම වසරේදී අවසන් වී ඇති බවත්, අනාගතයේදී ධීවර දත්ත වඩාත් විධිමත් හා අඛණ්ඩව රැස් කිරීම සඳහා නව දත්ත රැස්කිරීමේ ඒකකයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බවත් ලේකම්වරයා පැවසීය.

එමෙන්ම, ඉන්දියන් සාගර ටූනා කොමිසම (IOTC) සහ නෞකා නිරීක්ෂණ පද්ධතිය (VMS) ඇතුළු නිරීක්ෂණ සහ දත්ත රැස්කිරීමේ යාන්ත්‍රණයන් හරහා අවශ්‍ය දත්ත විධිමත්ව රැස් කර ඉදිරිපත් කරමින් සිටින බව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශ කෙරිණි.

අස්වැන්න නෙළීමෙන් පසු සිදුවන හානි අවම කිරීම

ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීමට අමතරව, මසුන් ඇල්ලීමෙන් පසු සිදුවන හානිය (අස්වැන්න නෙළීමෙන් පසු සිදුවන හානිය) අවම කිරීමට ද ශ්‍රී ලංකාව මූලිකත්වය ලබා දී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය. විශේෂයෙන්ම, ධීවර වරාය හා තොටුපළවල සිසිලන සැපයුම් දාම (Cool Chain) පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අස්වැන්න නෙළීමෙන් පසු සිදුවන හානිය අවම කර, මත්ස්‍යයන්ගේ ගුණාත්මකභාවය සහ වෙළඳපළ අගය ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.

නීති විරෝධී ධීවර කටයුතු (IUU) පාලනය

එමෙන්ම, නීති විරෝධී, වාර්තා නොවන සහ විධිමත් නොවන (IUU) ධීවර කටයුතු පාලනය කිරීම සඳහා වන ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කළේය. වරාය රාජ්‍යයන්ගේ පියවර පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමට (PSMA) ශ්‍රී ලංකාව එකතු වී වසර දහයක් පිරෙන අතර, IUU ධීවර කර්මාන්තය පාලනය කිරීම සඳහා රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා පැවසීය.

IUU ධීවර කර්මාන්තය පාලනය කිරීමේදී දක්නට ලැබෙන නීතිමය සහ ප්‍රායෝගික හිඩැස් පියවීම මෙන්ම, කලාපීය රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් BOBLME ඇතුළු කලාපීය ව්‍යාපෘතිවල අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

බෙංගාල බොක්ක කලාපය තුළ විවිධ මාදිලියේ ධීවර ක්‍රමවේද සහ සුළු පරිමාණ ධීවර යාත්‍රා විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙන බැවින්, ධීවර වෙළඳාම, සහනාධාර සහ වෙළඳපළ ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී, එම කලාපයට අනන්‍ය වූ සාමාජීය, ආර්ථික සහ ධීවර වාතාවරණයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේය.

මේ සඳහා FAO ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩ තාක්ෂණික සහාය, ධාරිතා සංවර්ධනය, දත්ත කළමනාකරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සහය ලබා දිය යුතු බව ද අවධාරණය කෙරිණි.

ගෝලීය ධීවර ක්ෂේත්‍රයේ තිරසාර අනාගතයක් තහවුරු කිරීමේදී විද්‍යාත්මක පදනම් සහිත දත්ත, නූතන තාක්ෂණය, කලාපීය සහයෝගීතාව සහ සුළු පරිමාණ ධීවර කර්මාන්තයේ සුරක්ෂිතතාව එකිනෙකට සම්බන්ධ වූ ප්‍රවේශයක් යටතේ ඉදිරියට ගෙන යා යුතු බව COFI 37 සැසියේදී ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

COFI 37 සැසිය හරහා ගෝලීය ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ අනාගත ප්‍රතිපත්තිමය දිශානතීන් තීරණය කිරීමේ ප්‍රධාන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව සිය අත්දැකීම් සහ ජාතික ප්‍රමුඛතාවන් ඉදිරිපත් කර ඇති අතර, කලාපීය හා ජාත්‍යන්තර ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන සිය කැපවීම ද මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම සභාවාරය සඳහා ලෝකයේ රටවල් 130 ක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, දේශපාලනඥයන් සහ වෘත්තිකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් 800 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිති.

Latest News