04 September 2026
ශ්‍රී ලංකා ධීවර සමිති වල නියෝජිතයින්ගේ ඉන්දීය සංචාරය – කළමනාකරණය සහ ආර්ථික බලගැන්වීම පිළිබඳ විශේෂ පුහුණුවක්
ශ්‍රී ලංකා ධීවර සංගම් තවදුරටත් බලගැන්වීම සහ ඒවායේ කළමනාකරණ, මෙහෙයුම් සහ ආර්ථික හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉන්දීය රජයේ මූල්‍ය සහයෝගය ඇතිව දින 10ක ජාත්‍යන්තර ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
“ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ කාර්යක්ෂම ධීවර සමිති ගොඩනැගීම සහ බලගැන්වීම සඳහා වන සමූපකාර සමිති ක්ෂේත්‍ර සංචාරය” යන තේමාව යටතේ මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර ඇත.
ඉන්දීය රජයේ මූල්‍ය අනුග්‍රහයෙන්, ඉන්දියාවේ ප්‍රකට ‘වෛකුන්ත් මේතා ජාතික සමූපකාර කළමනාකරණ ආයතනය’ (VAMNICOM) මගින් සංවිධානය කරනු ලබන මෙම පුහුණු වැඩසටහන, මේ මස 14 වනදා සිට 23 වනදා දක්වා දින 10ක් පුරා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේදී පැවැත්වේ.
මෙම පුහුණු වැඩසටහනට අදාළ සාකච්ඡාවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු එන්. සිවලිංගම්, අධ්යක්ෂ යසින්තා ගුණවර්ධන, සහකාර අධ්යක්ෂ එච්. එම්. එස්. ආර්. බී. හේරත්, ජාතික ධීවර සම්මේලනයේ ලේකම් එල්. ජී. අජන්ත කුමාර යන මහත්ම මහත්මින් සහ පුහුණු සම්බන්ධීකාරක එච්. පී. ජී. එම්. කේ. ආරියවංශ මෙනෙවිය සහභාගී වූහ.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් දේශපාලන උපදේශක සහ කාර්යාල ප්‍රධානී ආචාර්ය සී. රාම්බාබු, සංවර්ධන සහයෝගිතා සම-නිලධාරී කුල්දීප් කුමාර් බෆ්නා, සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘති නිලධාරී එස්. මිතුරන් යන මහත්වරුන් සහ පුහුණු සම්බන්ධීකාරක රෝෂිණී තෝමස් මෙනෙවිය ද මෙම සාකච්ඡාවට එක්වූහ.
ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර පැවැති මෙම සාකච්ඡාවේදී, පුහුණු වැඩසටහනේ අරමුණු, බලාපොරොත්තු වන ප්‍රතිඵල, පුහුණු ක්‍රියාකාරකම් සහ දෙරට අතර සමූපකාර ක්ෂේත්රයට සබැඳි දැනුම හුවමාරු කර ගැනීම ඇතුළු කරුණු රාශියක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම පුහුණු වැඩසටහන සඳහා 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය. ඊට ගාල්ල, මාතර, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් 3 දෙනෙකු සහ එම දිස්ත්‍රික්කවලින් තෝරාගත් ධීවර සමිති 17ක නියෝජිතයින් ද ඇතුළත් වේ. ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම්වරයා ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.
ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සමිතිවල කළමනාකරණ ක්‍රමවේදය, මෙහෙයුම් ක්‍රමවේද, සාමාජික සහභාගීත්වය, ආර්ථික බලගැන්වීම, අලෙවිකරණ උපායමාර්ග සහ ආයතනික ධාරිතා සංවර්ධන ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම පුහුණුව හරහා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ක්ෂේත්‍ර පුහුණුව ලබා දීමට නියමිතය.
මේ තුළින් ශ්‍රී ලංකාවේ ධීවර සමිතිවල කළමනාකරණ හැකියාව සහ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට මෙන්ම, ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා වන නව ප්රවේශයන් සහ ක්‍රමවේද හඳුන්වා දීමට ද අපේක්ෂා කෙරේ.
2025 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ව්‍යාපෘතිය, හරහා වාර්ෂිකව විවිධ ක්ෂේත්‍ර 700 ක ශ්‍රී ලාංකිකයින්ට විශේෂිත ධාරිතා පුහුණුවක් ලබා දීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම පුහුණුවීම්, සාමාන්‍යයෙන් ලබා දෙන ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා (ITEC) පුහුණු වැඩසටහනට අමතරව ලබා දෙන්නකි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින්ගේ දැනුම, ධාරිතා සහ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම නව ධාරිතා සංවර්ධන රාමුව යටතේ, සමුපකාර, සෞඛ්‍ය, ව්‍යවසායකත්වය, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්රවල ශ්‍රී ලාංකිකයින් සඳහා වන පුහුණු වැඩසටහන් ඉන්දියාවේ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ධීවර සමිති නියෝජිතයින් සඳහා ප්‍රථම වතාවට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ විශේෂිත පුහුණු අවස්ථාවක් හිමිවීම ඉතා වැදගත් වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා සහය පළ කරමින්, ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් මෙවැනි වැදගත් අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඉන්දීය රජයට සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකා – ඉන්දීය මිත්‍රත්වය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙවැනි කුසලතා සංවර්ධන සහ දැනුම හුවමාරු කිරීමේ වැඩසටහන්, දෙරට අතර සමූපකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතරම, ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ තිරසාර ආර්ථික වර්ධනය සඳහා ද වැදගත් දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.











