31 August 2026
මෙලින්චිමුනෙයි මුහුදු කූඩැල්ලන් වගා ගැටලුව සඳහා නීතිමය සහ තාක්ෂණික අධ්‍යයනයන් මත පදනම්ව පියවර ගනු ලබන අතර, ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සලකා බලනු ලැබේ – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ
යාපනය, කයිට්ස් මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් (Sea Cucumber) ගොවිපළවල් පිහිටුවීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේද සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් පිළිබඳව විධිමත් නීතිමය හා තාක්ෂණික අධ්‍යයනයන් පදනම් කරගෙන සුදුසු පියවර ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ ක්‍රිස්තුරාජා ධීවර සමූපාකාර සමිතියේ සභාපති ඒ. මරියදාස් මහතාගේ ප්‍රධානත්වයෙන්, ධීවර නියෝජිතයින් 50 කට වැඩි පිරිසක් අද (31) කොළඹ පිහිටි ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී තමන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාර දුන්හ. මෙහිදී මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ තමන් වෙත විධිමත්ව ලබාදී ඇති මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් සඳහා වන අවසරපත්‍ර ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර නියෝජිතයෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ජාතික ජලජජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මඟින් අක්කරයක භූමි ප්‍රමාණයක මුහුදු කූඩැල්ලන් වගා ගොවිපළවල් පිහිටුවීම සඳහා පසුගියදා නිර්දේශිත ලිපි ලබාදී තිබුණි.
මෙවැනි තත්ත්වයක් තුළ, අදාළ මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් සඳහා අවසර ලබා නොදිය යුතු බවත්, එසේ අවසර ලබා දුනහොත් සුළු පන්න ධීවරයින්ගේ ජීවනෝපායට බලපෑම් සිදුවිය හැකි බවත්, ඇතැම් පාර්ශ්වයන් මාධ්‍ය හමුවක් පවත්වමින් මීට පෙර චෝදනා කර තිබූ බව ධීවර නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම අවසර ලබාදීමේ ක්‍රියාවලියේ දී නීති උල්ලංඝනය වී ඇති බවටද චෝදනා එල්ල වී තිබිණි.
එම මතභේදාත්මක තත්තවය හමුවේ, අදාළ ධීවර ජනතාව සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ ඉල්ලීම් සහ චෝදනා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා කියා සිටියේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා දැනුවත් කර ඇති අතර, කරුණු විධිමත්ව පරීක්ෂා කර ඉදිරි පියවර ගැනීමට සාකච්ඡා කල බවයි.
තවද, මෙම කරුණෙහිදී පක්ෂ දේශපාලනයට හෝ වෙනත් බාහිර බලපෑම්වලට ඉඩක් නොමැති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මුහුදු ආශ්රිත ඕනෑම කටයුත්තක් අදාළ නිලධාරීන් සහ තාක්ෂණික නිපුණතාවයන් සහිත පිරිස් සමඟ විධිමත්ව සාකච්ඡා කිරීමෙන් පසුව පමණක් අවසාන තීරණ ගන්නා බවද සඳහන් කළේය.
තාක්ෂණික හා නීතිමය අධ්‍යයනයන් පදනම් කරගෙනම මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් පිළිබඳ මූලික පියවර ගත් බවත්, සුළු පන්න ධීවරයන්ගේ එදිනෙදා ධීවර කටයුතුවලට හෝ ඔවුන්ගේ ජීවනෝපායට බලපෑමක් නොවන පරිදි අවධානය යොමුකර ඇති බවත් ඔහු පැවසීය.
එසේම, මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම්ද සලකා බලමින්, සුළු පන්න ධීවරයන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන පරිදි, අදාළ නිලධාරීන් සමඟ වැඩිදුර උපදෙස් ලබාගෙන ඉදිරි පියවර පාරදෘශ්‍යභාවයෙන් යුතුව සිදුකරන බවටද නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.
මෙම හමුවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ.කොලිත කමල් ජිනදාස මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ ධීවර නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.













