26 August 2026
නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සුභපැතුම් පණිවිඩය
සමස්ත ලෝකයටම කරුණාවක් ලෙස පහළ වී, මිනිස් සංහතියට යහමඟ පෙන්වා දුන් ශුද්ධ වූ නබිනායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජන්ම දිනය වන මීලාදුන් නබි දිනය සමරන ශ්‍රී ලාංකික සියලුම මුස්ලිම් ජනතාව වෙත ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සිය හෘදයාංගම සුභපැතුම් පිරිනමයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා නිකුත් කළ සුභපැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.
“නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය සහ එතුමාණන් දේශනා කළ උතුම් ධර්මය සෑම කාලයකටම ගැළපෙන මඟපෙන්වීමකි. විශේෂයෙන්ම සහෝදරත්වය, කරුණාව, දානය, ඉවසීම සහ එකිනෙකා කෙරෙහි ගෞරවය දැක්වීමේ වැදගත්කම එතුමාණන් ලෝකයට අවධාරණය කළේය.
අප සැම ජාති, ආගම් භේදයකින් තොරව ආදරයෙන්, සහෝදරත්වයෙන් හා සාමයෙන් ජීවත් වීම නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අපට දැක්විය හැකි උතුම්ම ගෞරවයයි.
විශේෂයෙන්ම රටේ ධීවර ක්ෂේත්රයට මෙන්ම ජාතික ආර්ථික සංවර්ධනයට ද වැදගත් දායකත්වයක් සපයන අපගේ මුස්ලිම් සහෝදර ජනතාවගේ සුභසාධනය සහ ජීවනෝපාය නංවාලීම වෙනුවෙන් අප රජය සැමවිටම කැපවී කටයුතු කරයි.
මෙම ශුද්ධ වූ දිනයේ, නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දුන් ඍජු මාර්ගයේ ගමන් කරමින් ශ්‍රී ලංකාව තුළ සාමය, සංහිඳියාව සහ ජාතික සමගිය තවදුරටත් තහවුරු වේවායි සියලු බලැති දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලාංකික සියලුම මුස්ලිම් ජනතාව වෙත මාගේ හෘදයාංගම ‘මීලාදුන් නබි මුබාරක්’ සුභපැතුම් පිරිනමමි.”






