Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
26 August 2026
නබි නායක (සල්) තුමන්ගේ ජීවන දේශනා එක්සත් සමාජයකට මගපෙන්වීමක් වේවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්

මුහම්මද් නබි (සල්) තුමන්ගේ උපත සමරන පූජනීය මීලාදුන් නබි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් ජනතාව වෙත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සිය හදපිරි සුබ පැතුම් එක්කර සිටියි.

අමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ:

මානව වර්ගයාට ආදරය, කරුණාව, සමානාත්මතාව, සහෝදරත්වය, සාධාරණත්වය, ඉවසීම සහ සාමය යන උතුම් ගුණාංග දේශනා කළ මුහම්මද් නබි (සල්) තුමන්ගේ උපන්දින සංවත්සරය සමරන මෙම පූජනීය දිනය, එතුමන්ගේ ජීවන දේශනා නැවත ආවර්ජනය කිරීම සඳහා ලැබුණු වැදගත් අවස්ථාවකි.

නබි නායක (සල්) තුමන් තම ජීවිත කාලය පුරාම මිනිසුන් අතර පවතින වෙනස්කම් අමතක කර, සෑම කෙනෙකුම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත් වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. දුප්පතුන්, අසරණයන්, අනාථයන් සහ සමාජයේ කොන් වූවන්ගේ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කළ එතුමන්, අන් අයට උපකාර කිරීම සහ සමාජ වගකීමෙන් යුතුව කටයුතු කිරීම වැනි ගුණාංගද අවධාරණය කළේය.

“නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය, යහපත සහ ඥාතීන්ට උපකාර කිරීම අණ කරයි; අසාධාරණය, අයහපත සහ සීමාවන් ඉක්මවා යාම තහනම් කරයි.” — ශුද්ධ වූ අල්-කුර්ආනය 16:90

යන දේව වාක්‍යයෙන්, මිනිස් ජීවිතයේ සාධාරණත්වය, යහපත සහ සමාජ වගකීමේ වැදගත්කම ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. මෙම උතුම් ගුණාංග පුද්ගල ජීවිතය පමණක් නොව, මුළු මහත් සමාජයම නිවැරදි මාර්ගයට යොමු කිරීමට සමත් වේ.

විවිධ ජාතීන්, ආගම් සහ භාෂා කතා කරන ජනතාව ජීවත් වන අපගේ ශ්‍රී ලංකාවේ, පරස්පර අවබෝධය, ආගමික සහජීවනය සහ සහෝදරත්වය අපගේ අනාගතය සඳහා වන ඉතා වැදගත් පදනමයි. නබි නායක (සල්) තුමන්ගේ ජීවන දේශනාවල දක්නට ලැබෙන මානුෂීයභාවය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ පණිවිඩය, එවැනි එක්සත් සමාජයක් ගොඩනැගීමට ශක්තිමත් මගපෙන්වීමක් වනු ඇත.

වර්තමාන සමාජය තුළ ද්වේෂය, බෙදීම් සහ වැරදි අවබෝධයන්ට ඉඩ නොදී, ආදරය, සාමය සහ අවබෝධය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වගකීම අප සැම සතුව පවතී. විශේෂයෙන්ම, යෞවනයන් සහ අනාගත පරපුර යහපත් චරිතය, ඉවසීම, සමාජ වගකීම සහ මානුෂීයභාවය වැනි ගුණාංග තමන්ගේ ජීවිත තුළ වර්ධනය කරගැනීම රටේ ප්‍රගතියට මහත් රුකුලක් වනු ඇත.

මීලාදුන් නබි දිනය යනු ආගමික උත්සවයක් සමරන දිනයක් පමණක් නොව, ආදරය, කරුණාව, සාධාරණත්වය, සමානාත්මතාව සහ සහෝදරත්වය යන උතුම් ගුණාංග අපගේ එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට අභිෂ්ඨාන කරගන්නා දිනයක්ද විය යුතුය.

මෙම පූජනීය දිනයේදී ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් ජනතාවගේ නිවෙස්වල සාමය, සතුට, නිරෝගීභාවය, සෞභාග්‍යය සහ සහජීවනය පිරී ඉතිරී යන්නටත්, ඔවුන්ගේ සියලු යහපත් කටයුතු සාර්ථක වන්නටත් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් සොහොයුරු සොහොයුරියන්ට මගේ සුභ සහ හදපිරි මීලාදුන් නබි දින සුබ පැතුම්!

Latest News