21 August 2026
කිරින්ද ධීවර වරායේ වැලි තැන්පත් වීමේ ගැටලුව සඳහා කෙටි, මධ්‍යම සහ දිගුකාලීන විසඳුම්...
කිරින්ද ධීවර වරායේ දීර්ඝ කාලයක සිට පැවති වැලි තැන්පත් වීමේ ගැටලුව සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන පදනමින් ස්ථිරසාර විසඳුම් ලබා දීමට පියවර ගෙන ඇත.
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී, කිරින්ද ධීවර ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ වරායේ කටයුතු නැවත යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ගතයුතු විවිධ පියවරයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
1982 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 1985 වසරේදී වැඩ අවසන් කරන ලද කිරින්ද ධීවර වරාය, 1986 වසරේ සිට නොකඩවා වැලි තැන්පත් වීමේ ගැටලුවට මුහුණ දෙමින් සිටී. මේ හේතුවෙන් දැනට වැලි කියුබ් 16000 පමණ වැලි ප්‍රමාණයක් වරාය පරිශ්‍රයේ තැන්පත් වී ඇති බව අනාවරණය විය.
මෙම වැලි ඉවත් කිරීම සඳහා රජයට වසරපතා විශාල මුදලක් වැය වන අතර, ඉන්ධන ඇතුළු අනෙකුත් වියදම් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙයින් ධීවරයින් දහස් ගණනකගේ ජීවනෝපායට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,
“කිරින්ද ධීවර ජනතාවගේ ජීවනෝපාය සමග සෘජුවම සම්බන්ධ මෙම ගැටලුවට තාවකාලික විසඳුම් ලබා දී නතර නොවී, නැවත නැවතත් වැලි තැන්පත් වීම වැළැක්වෙන පරිදි දිගුකාලීන ස්ථිර විසඳුමක් ලබා දීම රජයේ අරමුණයි. ධීවරයින්ගේ අදහස් සහ තාක්ෂණික ආයතනවල නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ක්‍රියාත්මක කළ හැකි විසඳුම් අදියරෙන් අදියර ඉදිරියට ගෙන යන්නෙමු…”යැයි පැවසීය.
කෙටිකාලීන පියවරයන් වශයෙන් දැනට වරායේ තැන්පත් වී ඇති වැලි කියුබ් 16,000 ක පමණ වැලි ප්‍රමාණය ඉවත් කර, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.
තවද, කිරින්ද වරායේ ක්‍රියාත්මක වන බහුදින ධීවර යාත්‍රා සඳහා විකල්ප පහසුකමක් ලෙස හම්බන්තොට සහ කළමැටිය ධීවර වරායන් කිසිදු අයකිරීමකින් තොරව භාවිත කිරීමට පහසුකම් සැලසීමට ද තීරණය කර තිබේ.
එක්දින ධීවර යාත්‍රා සඳහා ක්ෂණික විසඳුම් වශයෙන් ධීවරයින්ගේ යෝජනාවකට අනුව, කිරින්ද වරායේ මුඛය තාවකාලිකව වසා දැමීමටත්, වරාය තුළ තැන්පත් වී ඇති වැලි ඉවත් කිරීමෙන් පසු නැවත මුඛය විවෘත කිරීමටත් එකඟතාව පළ වී ඇත.
මෙම කටයුතු සඳහා සති 2–3 ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම කාලය තුළ කුඩා ධීවර යාත්‍රා තාවකාලිකව වෙනත් ස්ථානවල නංවා තැබීමට ධීවරයින් එකඟ වී ඇත.
දිගුකාලීන විසඳුමක් ලෙස නව වරායක් කිරින්ද වරායේ සිට කිලෝමීටර් 2 ක පමණ දුරින් පිහිටි අදගලවැල්ල සහ නිධානගලවැල්ල යන ප්‍රදේශවල නැංගුරම් ලෑමේ තොටුපළක් හෝ රැල්ල කඩනයක් සහිත නව වරායක් ඉදිකිරීම පිළිබඳ සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ද උපදෙස් දී ඇත.
මෙහි පළමු අදියර ලෙස, කුඩා ධීවර යාත්‍රාවලට ගොඩබෑමට සහ තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි තොටුපළ සහ මූලික පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.
මෙම පියවරයන් මගින් කිරින්ද ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා වන අතරම, වරායේ සක්‍රිය කටයුතු සඳහා දිගුකාලීන විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සාකච්ඡාව සඳහා පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, අතුල වෙලඳගොඩ සහ කිරින්ද ප්‍රදේශයේ ධීවර නියෝජිතයින් ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
තවද, කිරින්ද වරායේ වැලි තැන්පත් වීමේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම පිළිබඳ මූලික නීතිමය සහ ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ධීවර දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යන ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊළඟ අදියරේදී පැවැත්වීමට නියමිතය.










