Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
19 August 2026
දැඩි ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ

“ධීවරයින් සඳහා අපගේ රජය සියලු ආකාරයෙන්ම සහයෝගය ලබා දෙනවා. රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ධීවර ක්ෂේත්‍රයෙන් ලැබෙන දායකත්වය ඉතා ප්‍රධානයි. එබැවින්,ඔබ ජනතාවට විශිෂ්ට සේවයක් ලබා දිය යුතුයි,” යනුවෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබූ, දිස්ත්‍රික් 15 ක ධීවර කාර්යාල සඳහා අලුතින් බඳවා ගන්නා ලද ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (19) කොළඹ පිහිටි තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය:

“ජනාධිපතිවරණය ජයගෙන අපගේ රජය බලයට පත්ව ලබන මාසයට වසර දෙකක් සපිරෙනවා. මමත් මගේ අමාත්‍යවරයාත් පසුගිය මාස 20 තිස්සේ මෙම තනතුරු දරමින් සිටිනවා. නිෂ්පාදන ආර්ථිකය උත්තේජනය කිරීම අපගේ ප්‍රධාන අරමුණක්. මෙහිදී ධීවර ක්ෂේත්‍රය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එබැවින් මෙම කාලසීමාව තුළ අපි ජනතාවට විශිෂ්ට සේවයක් ලබා දී ඇති බව විශ්වාස කරනවා.

ඉතා දැඩි ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් හමුවේ තමයි අපි පාලනය භාරගත්තේ. කෙසේ වෙතත්, පසුගිය වසර දෙක ඇතුළත රජය යහපත් ලෙස කටයුතු කර ඇති බවට විශ්වාසයක් ජනතාව තුළ නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෑත දිනවල විවිධ ගැටලු සැලසුම්සහගත ලෙස නිර්මාණය කරමින් පවතිනවා. මුලින්ම බන්ධනාගාර කාරණය ගැන කතා කළා, ඊළඟට අධිකරණ පද්ධතියේ ගැටලුව, දැනට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන කතාබහ කෙරෙනවා. 22 වන සංශෝධන පනත් කෙටුම්පත ගැන පූර්ණ ලෙස අධ්‍යයනය නොකර, එහි එක් කොටසක් පමණක් ගෙන බොහෝ දෙනෙක් විවේචනය කරනවා.

සැබවින්ම, මෙය සමස්ත අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණයේ එක් අංගයක්. නමුත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම ගැන පමණක් කතා කරනවා හැර, අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුළු අනෙකුත් පූර්ව සූදානම් කිරීමේ පියවර ගැන කතා කරන්නේ නැහැ.

ඔබට ලබා දී ඇති මෙම පත්වීම තානාපති තනතුරක් වැනියි. රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් ජනතාව අතරට ගෙන යා යුත්තේ ඔබයි. එමෙන්ම, ධීවරයින්ගේ ගැටලු රජයේ අවධානයට යොමු කළ යුතුයි. එබැවින් හොඳ තානාපතිවරයෙකු ලෙස ඔබ කටයුතු කළ යුතුයි.

මෙම ක්ෂේත්‍රය තුළ තවත් බොහෝ දේ ඉගෙන ගෙන අත්දැකීම් ලබා ගන්න. මහජන සන්නිවේදනය ඉතා අත්‍යවශ්‍යයි. ධීවරයින් විවිධ අභියෝග මැද තමයි රැකියාව කරන්නේ. එබැවින් ඔවුන් තමන්ගේ අඩුපාඩු හෝ ගැටලු කියන විට ඉවසීමෙන් සවන් දෙන්න. එසේ සවන් දීමෙන්ම ඔවුන්ගේ මානසික පීඩනයෙන් 50% ක් අඩු වෙනවා.

එමෙන්ම, සාගර සම්පත් පිළිබඳ දත්ත සහිත විද්‍යාත්මක වාර්තාවක් නාරා (NARA) ආයතනයෙන් ඉල්ලා සිටියා. හෙට දින එම වාර්තාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එය පදනම් කරගෙන කරදිය මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම ගැන පරීක්ෂා කර බලනවා.

අපගේ රජය බලයට පත් වූ පසු ධීවරයින්ට ඉන්ධන සහනය ලබා දුන්නා. මෙතෙක් රුපියල් මිලියන 3,000 ක ඉන්ධන සහනයක් ලබා දී තිබෙනවා. රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මෙවැනි සහනයක් ලබා දී තිබෙන්නේ.

මෙසේ සියලු ආකාරයෙන් අපි ධීවර ජනතාව වෙනුවෙන් සැමදා පෙනී සිටිනවා,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Latest News