Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
15 August 2026
ධීවරයින්ගේ පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා සඳහා මුල්ගල තබයි

අම්පාර දිස්ත්‍රික්කයේ පෙරියනීලාවනෙයි, කාරයිතීවු සහ නින්තවූර් යන ප්‍රදේශවල ධීවරයින්ගේ ප්‍රයෝජනය සඳහා විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2026.08.14) පැවැත්විණි.

ධීවරයින්ගේ දෛනික රැකියාමය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් ධීවර අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

ඊට අනුකූලව, පෙරියනීලාවනෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ශාලාව සඳහා රුපියල් මිලියන 24 ක්ද, කාරයිතීවු සහ නින්තවූර් ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත ශාලා සඳහා රුපියල් මිලියන 22 බැගින්ද වෙන්කර ඇත. ඒ අනුව, මෙම ශාලා තුනෙහිම ඉදිකිරීම් කටයුතු සඳහා මුළුමනින්ම රුපියල් මිලියන 68 ක මුදලක් වෙන්කර තිබේ.

මෙම ශාලා ඉදිකිරීම මගින් ධීවරයින්ට තමන්ගේ ධීවර දැල් අලුත්වැඩියා කිරීමට, නඩත්තු කිරීමට සහ ධීවර කටයුතු අතරතුර විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් එකම ස්ථානයකින් ලබාගැනීමට හැකිවේ. මේ තුළින් ධීවරයින්ගේ සේවා පරිසරය ඉහළ නැංවීමට මෙන්ම ඔවුන්ගේ රැකියාමය දුෂ්කරතා අවම කිරීමටද හැකිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මුල්ගල තැබීමේ උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ධීවර ක්ෂේත්‍රයට අදාළ ආයතනවල නියෝජිතයින්, ධීවර සමිති නියෝජිතයින් සහ ප්‍රදේශයේ ධීවරයින් රැසක් සහභාගී වූහ.

ධීවරයින්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින්, ඔවුන්ගේ රැකියාව පහසුවෙන් සහ ආරක්ෂිතව කරගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට ධීවර අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව සඳහන් කළ යුතුය.

Latest News