16 July 2026
මුලතිව් ධීවරයන්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් සහතිකයක්
මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන අතරම, දිස්ත්‍රික්කය තුළ සිදුවන නීති විරෝධී ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට තමන් සතු සියලු බලතල යොදවා කටයුතු කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
මුලතිව් දිස්ත්‍රික් ධීවර ප්‍රජාවගේ ගැටලු සෘජුවම හඳුනාගෙන ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද මුලතිව් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11.08.2026) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බණ්ඩාරවන්නියන් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
රැස්වීම ආරම්භයේදී, සාකච්ඡාවේ අරමුණ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලු පිළිබඳව දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා පැහැදිලි කිරීමක් කළේය.
එහිදී දිස්ත්‍රික්කය තුළ සිදුවන නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවරයෝ සිය දැඩි අප්‍රසාදය පළ කළහ. විශේෂයෙන්ම නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා ධීවර දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව පෙන්වා දුන් ඔවුන්, එවැනි ක්‍රියාවන්ට එරෙහිව රජය දැඩි නීතිමය පියවර ගත යුතු බවටද ඉල්ලා සිටියහ.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය:
“මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු කෙරෙහි රජය දැඩි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම නීති විරෝධී ධීවර කටයුතුවලට කිසිසේත්ම ඉඩ තබන්න බැහැ. ධීවරයන්ගේ ජීවනෝපායට හානි කරමින් සහ සාගර සම්පත් විනාශ කරමින් සිදුවන නීති විරෝධී ක්‍රියා සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර අප ගන්නවා.
මුලතිව් දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩල හිඟය කඩිනමින් විසඳීමට කටයුතු කරනවා. අලුතින් පත්වීම් ලබන නිලධාරීන් 8 දෙනෙකු ළඟදීම සිය රාජකාරි භාර ගැනීමට නියමිතයි. එමගින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ ධීවරයන් සඳහා වන සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වෙනවා.
නීති විරෝධී ලෙස මසුන් අල්ලන්නන් නීතිය හමුවට පැමිණවීමට කිසිදු පැකිළීමක් නෑ. කුඩා ඇස් සහිත දැල් යොදාගනිමින් සිදුකරන නීති විරෝධී පර්ස්සේන් (Purse Seine) මසුන් ඇල්ලීම, ඩයිනමයිට් භාවිතය, සීමා මායිම් ඉක්මවා මසුන් ඇල්ලීම සහ කලපු තුළ යන්ත්‍ර සූත්‍ර සහිත බෝට්ටු භාවිත කිරීම වැනි ක්‍රියාවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනෙනවා.
රජයේ අරමුණ කිසිදු ධීවරයෙකුගේ ජීවනෝපායට හානි කිරීම නෙවෙයි. නීතියට ගරු කරමින් රැකියාවේ නිරත වන ධීවරයින්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමත්, අනාගත පරම්පරාව උදෙසා සාගර හා ජලජ සම්පත් තිරසාර ලෙස ආරක්ෂා කිරීමත් අපගේ වගකීමයි.
මුලතිව් ධීවරයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට සුදුසු විසඳුම් ලබාදීමට මට ඇති සම්පූර්ණ බලතල යොදවා ඉක්මනින් කටයුතු කරනවා. ධීවරයන්ගේ ගැටලු විසඳීමට අවශ්‍ය පියවර අමාත්‍යාංශය අඛණ්ඩව ගන්නවා.
තිරසාර ධීවර කර්මාන්තයක් ගොඩනැගිය හැක්කේ ධීවරයන් සහ රාජ්‍ය ආයතන එක්ව කටයුතු කළහොත් පමණයි. එබැවින් නීති විරෝධී කටයුතුවලින් වැළකී, වගකීම් සහගත හා තිරසාර ලෙස ධීවර කර්මාන්තයේ නිරත වන ලෙස මම සියලුම ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා.”
මුලතිව් දිස්ත්‍රික්කයේ දැනට ධීවරයින් 4,542 දෙනෙකු ධීවර කර්මාන්තයේ නිරත වෙති. 2025 වසරේ දිස්ත්‍රික්කයේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8,220.49 ක් ලෙස සටහන් වී ඇත.
දිස්ත්‍රික් ධීවරයන්ගේ යටිතල පහසුකම් සහ ජීවනෝපාය අවශ්‍යතා ඉහළ නැංවීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී. උතුරු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 67 ක වියදමින් චාලා සහ තීත්තක්කරෙයි දැල් වියන ශාලාව ඇතුළු සංවර්ධන ව්‍යාපෘති පහක් නිම කර ඇත. මීට අමතරව ඉරණයිපලෙයි ප්‍රදේශයේ රුපියල් මිලියන 100 ක වියදමින් අයිස් කර්මාන්තශාලාවක් පිහිටුවීමටද පියවර ගෙන තිබේ.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයට ලබා දුන් පූර්ව නිෂ්පාදිත නිවාස 64 න් නිවාස 57 ක අර්ධ වශයෙන් වැඩ (ගොඩනැගිලි පදනම් කටයුතු) අවසන් කර ඇත.
2026 වසර සඳහා වන භූමිතෙල් සහන ව්‍යාපෘතිය යටතේ ධීවර යාත්‍රා සඳහා මාස තුනක කාලයකට රුපියල් මිලියන 127.5 කට අධික මුදලක් වෙන් කර ඇත. එමෙන්ම ආපදාවලින් පීඩාවට පත් මුලතිව් ධීවරයන් වෙත නව OFRP බෝට්ටු 13 ක්ද ලබා දී තිබේ.
ධීවර කර්මාන්තය නවීකරණය කිරීමේ පියවරක් ලෙස, 2026 වසරේදී GPS තාක්ෂණය භාවිතයෙන් වෙරළාශ්‍රිත මාදැල් ප්‍රදේශ, බෝට්ටු නතර කරන ස්ථාන සහ කලපු මායිම් සලකුණු කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාමට නියමිතය. බෝට්ටු නතර කරන නැංගුරම් පොළවල සූර්ය බලශක්ති (Solar) ආලෝක පද්ධති සහ විදුලි ආලෝක පද්ධති සවිකිරීමේ කටයුතුද සිදුවෙමින් පවතී.
2027 වසර සඳහා නන්දික්කඩාල්, නායාරු සහ චාලා කලපු රොන්මඩ ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 330 ක්ද, ඉස්සන් පැටවුන් තැන්පත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 23 ක්ද යෝජනා කර ඇත. තවද, 2026-2027 ක්‍රියාකාරී සැලසුම යටතේ මාර්ග, පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් ඇතුළු විවිධ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරිපත් කර තිබේ.
2026 වසරේ මේ දක්වා නීති විරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් නඩු 49 ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවද රුපියල් ලක්ෂ 22.95 ක දඩ මුදල් පනවා ඇති අතර, බෝට්ටු 3 ක් සහ යන්ත්‍ර 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මුලතිව් දිස්ත්‍රික්කය තුළ තිරසාර ධීවර කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් සාගර හා ජලජ සම්පත් ආරක්ෂා කිරීම, අවශ්‍ය යටිතල පහසුකම් නැංවීම, නීතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සහ වගකීම් සහිත ධීවර කර්මාන්තය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම ඉදිරි ප්‍රධාන ප්‍රමුඛතා ලෙස ඉදිරිපත් කර ඇත.
මෙම සාකච්ඡාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, කාදර් මස්තාන්, තුරෙයිරාසා රවිකරන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, දිස්ත්‍රික් අතිරේක ලේකම්, කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ධීවර සමිති නියෝජිතයන්, නාවික හමුදාව, පොලිසිය සහ දිස්ත්‍රික් ධීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.












