Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

05 August 2026
පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ධීවර කටයුතු යළි ඇරඹීමට අවසර: හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරය තවදුරටත් අවදානම් මට්ටමක - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරු 10.00 ට නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැවති කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නැවත දැනුම්දීමක් සිදුකරයි.

එම නිවේදනයට අනුව, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැවති දැඩි සුළං තත්ත්වය මේ වන විට යම් තරමකට සමනය වී ඇත. ඒ අනුව, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම සඳහා යෝග්‍ය බව ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කෙසේ වුවද, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා තවදුරටත් නුසුදුසු මට්ටමක පවතින බැවින්, නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින ලෙස ධීවර කාර්මිකයන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඕනෑම මොහොතක යළි ඉහළ යා හැකි බැවින්, රැකියාවේ නිරත වන සියලුම ධීවරයින් අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳ සිටිය යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Share

Latest News