01 August 2026
අයහපත් කාලගුණය නිසා අනතුරට පත් ධීවරයින් මුදාගැනීමට නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක්: සෝදිසි කිරීම් කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස්

දිවයින වටා පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් අනතුරට පත් සහ අතුරුදන් වූ ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

පවතින තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මුහුදු යාම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට පෙර මුහුදු ගිය යාත්‍රා කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ඒ අනුව, හලාවතින් රැකියාවට ගිය OFRPA 8108 CHW දරන යාත්‍රාව ධීවරයින් දෙදෙනෙකු සමඟ මෙතෙක් අතුරුදන්ව පවතී. මීට අමතරව මීගමුවෙන් පිටත්ව ගිය යාත්‍රා දෙකක් ද අනතුරට පත්ව ඇති අතර, මීගමුවේ සිට OFRP-A-5277 NBO දරන යාත්‍රාවෙන් රැකියාවට ගිය කටුපිටිගේ ප්‍රසාද් මැක්මිලන් ප්‍රනාන්දු මහතා, යාත්‍රාව ගලක වැදී විනාශ වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ දේහය මේ වන විට වෙරළට ගොඩගසා තිබේ. එම යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. අනතුරට පත් වූ අනෙක් මීගමු යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා වෙනත් යාත්‍රාවක සහාය ඇතිව නිරුපද්‍රිතව සිටින බව වාර්තා වේ.

මෙම ආපදා තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් උපරිම අයුරින් තීව්‍ර කරන ලෙස ආරක්ෂක අංශවලට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් විශේෂ නිරීක්ෂණ යානයක් සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, නාවික හමුදා යාත්‍රා ද එම කලාපයේ මෙහෙයුම් සිදුකරයි. මීට අමතරව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ද මෙම සෝදිසි කිරීම් සඳහා සක්‍රීයව දායක වෙමින් සිටී.

මුහුදේ පාවෙන බහාලුම් පිළිබඳව ධීවරයින්ට අනතුරු ඇඟවීමක්:
මීට අමතරව, මාලදිවයිනේ සිට කොළඹ වරාය දක්වා පැමිණි වෙළඳ නෞකාවක තිබූ බහාලුම් (Containers) 17ක් කොළඹ වරායේ සිට නාවික සැතපුම් 17ක් දුරදී මුහුදට පතිත වී ඇති බවත්, එම හිස් බහාලුම් මේ වන විට මුහුදේ පාවෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. මෙම බහාලුම් හේතුවෙන් ධීවර යාත්‍රා අනතුරට පත්වීමේ බරපතළ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අතිශය විමසිලිමත් වන ලෙසත්, ඒ පිළිබඳව සොයා බලන ලෙස අදාළ අංශවලට දන්වා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පවතින දැඩි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙසත්, දැනට මුහුදේ සිටින යාත්‍රා වහාම ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන ලෙසත් අමාත්‍යාංශය නැවත වරක් ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.

Share

Latest News